නිවන් දැකීමට උපකාර වන සීලය
නොහොත් අරියකාන්ත සීලය යනු කුමක්ද ?
සෝවාන් ඵලයට පත් වීමේදී නැතිවන සංයෝජන තුනෙන් එකක් වන්නේ, සීලබ්බත පරාමාසයයි. මෙය බොහෝ විට
අර්ථකථනය කෙරෙන්නේ අන්‍ය සීල වෘත අනුගමනය කිරීමක් ලෙසයි. එමනිසාම අද එහි සැබෑ
අර්ථය යටපත් වී ඇත.
අන්‍ය සීල වෘත අනුගමනය වරදක් යැයි පවසන විට, අන්‍ය නොවන සීල වෘත අනුගමනය කිරීම
නිවැරැදිය යන අදහස මතුවේ. ඒ නිසාම බොහෝ දෙනා සීලබ්බත පරාමාස යන සංයෝජනය ලෙස
හදුනාගෙන සිටින්නේ බුදුදහමට අයත් නොවන සීල වෘත, වත්
පිළිවෙත්, පුද පූජා යනාදිය අනුගමනය කිරීමයි.
නමුත් සීලබ්බත පරාමාස යනු අන්‍ය සීල වෘත නොව, කිසිදු
සීල් වෘතයක් අනුගමනය නොකිරීමයි. සීලබ්බත පරාමාස යනු සත්වයා තුළ පවතින වැරැදි
දෘෂ්ටියකි. සීල+සබ්බ+පරම+ආසයයි. සීලය නිවන් දැකීම සඳහා පරම ආහාරය කොට ගැනීමයි. එනම්,විවිදහ සිල්
වෘත සමාදන් වීමෙන් නිවන් අවබෝධ කළ හැකි යන මිත්‍යා විශ්වාසයයි.
එය වැරැදි දෘෂ්ටියක් වන්නේ කුමක් නිසාද ?
සිල් වෘතයක් යනු යම් කිසිවක් හෝ කිසිවෙක් ගැන තබන
විශ්වාසයක් නිසා, යම්
කාලයක් තුළ හෝ යම් යම් සීමාවන් තුළ කය වචන පමණක් තැන්පත් කරගෙන ජීවත් වීමයි. සිල් වතක්
තුළ ඇත්තේ, යම්
ඇවැතකට හෝ නීතියකට බියෙන් කය වචනය තැන්පත් කරගෙන, වැරැදිවලින්
වැළකී සිටීමයි. නිර්වාණය යනු එසේ අවබෝධ කළ හැක්කක් නොවේ. එසේ වන්නේ සිල් වෘත තුළදී
යථාවබෝධයෙන් සිදුවන කෙලෙස් වලින් මිදීම සිදු නොවන බැවිනි. සිල් වෘත වලදි සිදු වන්නේ සිතේ
ආශාව තබාගෙන, එය
වෘතය තුළින් යටපත් කරගෙන ජීවත් වීමයි. එසේ නොමැතිව සිතේ කෙළෙස් දුරු වීමක් ඉන්
සිදු වන්නේ නැත.
එසේනම්, තථාගත
ලොව්තුරු බුදු පියාණන් වහන්සේ, නිවන්
දැකීම සඳහා අනුදැන වදාළ සීලය කුමක්ද ?
කායේන සංවරෝ සාධු
සාධු වාචාය සංවරෝ
මනසා සංවරෝ සාධු
සාධු සබ්බත්ථ සංවරෝ
සබ්බත්ථ සංවරෝ භික්ඛු
සබ්බ දුක්ඛා පමුච්ඡති
සාධු වාචාය සංවරෝ
මනසා සංවරෝ සාධු
සාධු සබ්බත්ථ සංවරෝ
සබ්බත්ථ සංවරෝ භික්ඛු
සබ්බ දුක්ඛා පමුච්ඡති
කය සංවර කර ගැනිම සීලයයි. වචනය සංවර කර ගැනීම සීලයයි.
මනස සංවර කර ගැනීම සීලයයි. සියල්ල සංවර කළ විට හිමි වන්නේ සියලු දුකින් එතෙර වූ
නිර්වාණයයි.
එය සිදු වන්නේ කෙසේද ? අපි
එම ගැටළුව ධර්මයට බහා විසඳා ගනිමු.
ලොව්තුරු බුදු පියාණන් වහන්සේ ලෝක සත්වයාට නිර්වාණාවබෝධය
පිණිස අනුදැන වදාළේ සංවර සීලයයි. සංවරට්ඨේන සීලං යනුවෙන් ධර්මයේ දක්වා ඇත්තේ, සංවර අර්ථයෙන් සීලය හඳුන්වන බවයි.
නිර්වාණ අවබෝධය පරිපූර්ණ කර ගැනීමට ඉවහල් වන්නේ, මෙම
සංවර සීලයයි. අරියකාන්ත සීලය ලෙස හැඳින්වෙන්නේද එයයි.
ලොව්තුරු බුදු පියාණන් වහන්සේ ලෝක සත්වයාට දේශනා කළ
අරියකාන්ත සීලය නිවැරැදිව තේරුම්ගත හැක්කේ කෙසේද ?
සංවර යන පදයේ අර්ථය කුමක්ද ? සංවරය යනු සං+වරයයි . රැස කිරීමයි, රාගය ද්වේශය මෝහය නිසා කෙලෙස් රැස් කිරීමයි. කෙලෙස් රැස් කර සසරට බැඳීමයි. වර නම් වාරණය කිරීමයි.
සං හෙවත් රැස් කරන්නේ මොනවද ? සං සංඛාර ය. සංඛතයක් හට ගැනීම
නිසා ඇති වන්නා වූ සංඛාර ය. විඤ්ඤාණයේ කාර්යය නම් සංඛතයේ පැවැත්ම ආරක්ෂා කිරීමයි.
සංඛතයක් ගොඩ නැඟෙන්නේ විඤ්ඤාණයේ මෙම රැස් කිරීමේ ක්‍රියාවලිය හේතු කොටගෙන ය.
විඤ්ඤාණය ක්‍රියාත්මක වනතුරු සංඛතය පවතී. සත්ව විඤ්ඤාණයේ ඇති විශේෂතාව වන්නේ එක්
පංචස්කන්ධයක ආයුෂ අවසන් වන්නට මත්තෙන් තවත් පංචස්කන්ධයක් හට ගැනීම අවශ්‍ය කර්ම භවය
(කර්ම බීජ) නිෂ්පාදනය කර ගැනීමට ඇති හැකියාවයි. මෙම හැකියාව නිසාම සත්වයෙකු තුළ භව
ගමනක් නිර්මාණය වේ. විඤ්ඤාණය මඟින් ඇති කරන මුලා දෘෂ්ටිය නිසාම, ඒ ඒ පංචස්කන්ධනය මම මගේ යැයි
දෘෂ්ටියකින් අල්වා ගනියි. සංඥාවකින් අල්ලා ගනියි. චිත්තයකින් අල්ලා ගනියි.
දෘෂ්ටියෙන්, සංඥාවෙන්, චිත්තයෙන් පංච ස්කන්ධය මම යනුවෙන්
අල්ලා ගන්නා ගැනීම නිසා පංච උපාදානස්කන්ධය හට ගනියි. නැතහොත් ස්කන්ධ පංචකය මම මගේ
යයි යනුවෙන් මනසින් අල්ලා ගැනීමයි. මෙම අල්ලා ගැනීම බලවත් තරමට පුද්ගලයා තුළ ආත්ම
දෘෂ්ටිය බලවත් වෙයි. මමත්වය බලවත් වෙයි. තව ආකාරයකට පැවසුවහොත්, පංචස්කන්ධය, පංචඋපාදානස්කන්ධය බවට පත් වන්නේ, ඇස, කණ, නාසය, දිව, ශරීරය, මනස යන සලායතන වෙත එන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම යන අරමුණු වින්දනය කිරීමට
(විඳීමට / රස විඳිමට) යාම නිසා ය. එසේ වින්දනය කරන්නේ විඤ්ඤාණයේ අවශ්‍යතාව නිසා ය.
සලායතනවලට ගෝචර වන අරමුණු කෙරෙහි ඡන්දරාගෙයන් බැඳෙමින් ඒ ගැන සිතන්නට (මනෝ
සංඛාර), කතා කරන්නට (වචී සංඛාර), ක්‍රියා කරන්නට (කාය සංඛාර) යාම
නිසා සංඛාර හට ගනියි.
සංඛාර යනු විඤ්ඤාණයේ ආහාරයයි. සෑම සංඛාරයක් නිසාම
විඤ්ඤාණයක් හට ගනියි. විඤ්ඤාණය නිසා නාමරූප හට ගනියි. ඒ අාකාරයෙන් ඉදිරියට ඇති
පටිච්ච සමුප්පාද චක්‍රයද ක්‍රියාත්මක වෙයි. එම සංඛාර නිරෝධයෙන් විඤ්ඤාණ නිරෝධ
වෙයි. විඤ්ඤාණ නිරෝධයෙන් නාමරූප නිරෝධ වෙයි. ඒ ආකාරයට ඉදිරියට ඇති පටිච්ච සමුප්පාද
චක්‍රයම නිරෝධ වෙයි.
ජීවිතයේ අප එදිනෙදා සිතන, කියන, කරන සියලු දෑ සංඛාර ය. නමුත්
සියලු සංඛාර භව ගමනට හේතු නොවේ. භව ගමනට හේතු වන සංඛාර, අභිසංඛාර ලෙස හඳුන්වයි.
ලෝභ (රාග), ද්වේෂ, මෝහ සිතින් සත්වයා කරන කියන සිතන දෑ අභිසංඛාර වෙයි.
ලෝභ (රාග), ද්වේෂ, මෝහ සිතින් සත්වයා කරන කියන සිතන දෑ අභිසංඛාර වෙයි.
ලෝභ (රාග), ද්වේෂ, මෝහ චේතනාවෙන්, මනසින් සිතන දෑ මනෝ සංඛාර ලෙසද, කයෙන් කරන දෑ කාය සංඛාර ලෙසද, වචනයෙන් කියන දෑ වචී සංඛාර ලෙසද, හැඳින්වෙයි.
පටිච්ච සමුප්පාදයට අනුව සංඛාර (අභිසංඛාර) හට ගන්නේ නම්, සංඛාර ප්‍රත්‍ය වීමෙන් විඤ්ඤාණ
(අභිවිඤ්ඤාණ / කර්ම විඤ්ඤාණ) ද, විඤ්ඤාණ
ප්‍රත්‍ය වීමෙන් නාම රූප ද, නාම
රූප ප්‍රත්‍ය වීමෙන් සලායතන ද, සලායතන
ප්‍රත්‍ය වීමෙන් ඵස්ස ද, ඵස්ස
ප්‍රත්‍ය වීමෙන් වේදනා ද, වේදනා
ප්‍රත්‍ය වීමෙන් තණ්හා ද, තණ්හා
ප්‍රත්‍ය වීමෙන් උපාදාන ද, උපාදාන
ප්‍රත්‍ය වීමෙන් භව ද, භව
ප්‍රත්‍ය වීමෙන් ජාති ද, ජාති
ප්‍රත්‍ය වීමෙන් ජරා, මරණ, ව්‍යාධි, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස යන දුක්ඛස්කන්ධයද හට ගනී.
මෙය හේතු ඵල ක්‍රියාවලියකි.
වර්තමාන සංඛාර නිසා, මතු
අනාගතයේ නැවත දුක්ඛස්කන්ධයක් සහිත පංචස්කන්ධයක් හිමි වෙයි. පටිච්ච සමුප්පාදය
දැකීමෙන් මෙම හේතුඵල ක්‍රියාවලිය තුළ, ආත්මීය
වශයෙන් ගත හැකි මම යනුවෙන් කෙනෙක් (ආත්මයක්) නොමැති බව වැටහෙයි. එසේ නම්, මේ භවයේ හිමී වී ඇති සිත කය
(පංචස්කන්ධය) පෙර ජාතියේ මෙවැනිම හේතුඵල ක්‍රියාවලියක් නිසා උරැම වූවක් බවද
වැටහෙයි. ඉදිරි ජාතියේදී හට ගන්නා සිත කය මේ භවයේ අප ගොඩ නගන සංඛාර නිසා හට ගන්නා
ඵලයක් බව වැටහෙයි.
මම යනුවෙන් හට ගන්නා සත්වයා, කිසියම් හේතුඵල ක්‍රියාවලියක්
නිසා විද්‍යමාන වන තත්වයක් පමණක් බවත්, මෙම
හේතුඵල ක්‍රියාවලිය තුළ මම යනුවෙන් නිශ්චිතව ගත හැකි ආත්මයක් නොමැති බවත්, භවයෙන් භවය වෙනස් වෙමින් යන චිත්ත
විඤ්ඤාණ පරම්පරාවක් නිසා ජාතියක් ගොඩ නගමින් සැරි සරන සත්වයෙකු නිර්මාණය වන බවත්
ධර්මය දකින වන විට, වැටහී
යයි. නැතහොත් පංච උපාදානස්කන්ධය නිසා දුක නැවත නැවත හට ගන්නා බව ප්‍රඥාවෙන්
දකිමින්, පංච උපාදනස්කන්ධයේ ඇති අනිච්චතාව, දුක්ඛතාව, අනත්ථතාව අවබෝධ වෙයි. එවිට මම
යනුවෙන් නැවත පංච උපාදනස්කන්ධයක් ගොඩ නංවා ගැනීමට ඇති කැමැති පහ වී යයි.
මම යනුවෙන් ගත හැකි අවිපරිණාමිය ආත්මයක් නොමැති නිසාම, මෙම සසර ගමන කිසිදු අර්ථයක්
නොමැති, අර්ථ ශුන්‍ය එකක් බවද වැටහෙයි.
තවද, එය හුදු සැප නමැති මුළාවක් මැද
භවයෙන් භවය පහළවන සත්වයෙකු උසුලන දුක්ඛස්කන්ධයක් පමණක් බවද වැටහෙයි.
සත්වයා තුළ අවිපරිණාමීය ආත්මයක් නොමැති බව පටිච්ච
සමුප්පාදයට අනුව අවබෝධ වන විට, සත්වයා
තුළ පවත්නා ආත්ම දෘෂ්ටිය බිඳී යයි. මෙම ආත්ම දෘෂ්ටිය නම් සක්කාය දිට්ඨියයි. සක්කාය
දිට්ඨිය යනු මේ හට ගත් පංචස්කන්ධය තුළ මම යනුවෙන් අවිපරිණාමීය ආත්මයක් පවතිනවා යන
දෘෂ්ටියයි.
සක්කාය දිට්ඨිය පවතින්නේ කුමක් නිසාද ?
සත්වයා තුළ සක්කාය දිට්ඨිය පවතින්නේ, නැතහොත් මම යනුවෙන් ආත්මයක් පවතින
බව සතින්නේ පංචස්කන්ධය හොඳ වටිනා (සත්) එකක් ලෙස තේරුම් ගෙන සිටීම නිසයි.
පංචස්කන්ධය සත් වශයෙන් ගැනීම නිසා සක්කාය දිට්ඨිය
පවතියි. මෙය කාය සත් දෘෂ්ටිය ලෙසද හැදින්වේ.
මමත්වය හට ගන්නේ සක්කාය දිට්ඨියයිි නිසයි. සක්කාය යනු
කුමක්ද ? සක්කාය යනු
චක්ඛු කාය, රූප කාය, සෝත කාය, ශබ්ද කාය, ඝාන කාය, ගන්ධ කාය, ජිව්හා කාය, රස කාය, කාය කාය, පොට්ඨබ්බ කාය, මනෝ කාය, ධම්ම කාය යන කාය දොළසයි. සක්කායදිට්ඨිය නම්, මෙම කායන් (සබ්බ කාය) සත් වශයෙන් නැතහොත් නිච්ච, සුඛ, අත්ථ, ශුභ වශයෙන් ඇති කරගත් වැරදි දෘෂ්ටියයි.
චක්ඛු කාය, රූප කාය, සෝත කාය, ශබ්ද කාය, ඝාන කාය, ගන්ධ කාය, ජිව්හා කාය, රස කාය, කාය කාය, පොට්ඨබ්බ කාය, මනෝ කාය, ධම්ම කාය යන කාය දොළසයි. සක්කායදිට්ඨිය නම්, මෙම කායන් (සබ්බ කාය) සත් වශයෙන් නැතහොත් නිච්ච, සුඛ, අත්ථ, ශුභ වශයෙන් ඇති කරගත් වැරදි දෘෂ්ටියයි.
මෙම වැරදි දෘෂ්ටිය නිසාම පංචකාම අරමුණු ආස්වාදනය කරන
පුද්ගලයෙකු, සත්වයෙකු
එහි හට ගනියි. සැබවින්ම සිදු වන්නේ, ඇස, කණ, නාසය, දිව, ශරීරය, මනස යන ඉන්ද්‍රීන් ආයතන බවට පත්
කර ගනිමින්, විඤ්ඤාණය
ආහාර ලබා ගැනීමයි. විඤ්ඤාණයේ මායාකාරි හැසිරීම නිසා මම යනුවෙන් ආත්මයක් ඇති බව හැඟෙයි.
මම යනුවෙන් පුද්ගලයෙකු ඇති බව හැඟෙයි.
සබ්බ කාය, පංචස්කන්ධය
ලෙසද, ලෝකය ලෙසද, අටළොස් ධාතුව ලෙසද, ෂඩ් ධාතුව ලෙසද, දොළොස් ආයතනද ලෙසද, සියල්ලෙන් සියල්ල ලෙසද විස්තර
වෙයි.
සත්වයා අවිද්‍යාසහගත මුලා දෘෂ්ටිය නිසා සත් යනුවෙන් ගෙන
සිටින මෙම සබ්බ කාය හෙවත් ලෝකය තමාට කැමැති ආකාරයෙන් පවත්වන්නට නොහැකි බව (අනිච්ච)
බව තමාම ප්‍රඥාවෙන් දැකිය යුතු කරුණයි. එනම්, සබ්බ
කාය අනිච්ච බව දැකිය යුතු ය.
සබ්බ කාය හෙවත් පංචසක්න්ධය (ලෝකය) අනිච්ච, දුක්ඛ, අනත්ථ වශයෙන් විදර්ශනා කරන විට, පංචස්කන්ධයේ යථා ස්වභාවය අවබෝධ
වීමෙන්, සත්වයා තුළ පවතින සක්කාය දෘෂ්ටිය
හෙවත් කාය සත් දෘෂ්ටිය බිඳී යයි. නැතහොත් පංචඋපාදනස්කන්ධය පිළිබඳ දෘෂ්ටිය හෙවත්
ආත්ම දෘෂ්ටිය බිඳී යයි. එහෙත් ආත්ම සංඥාව සහ ආත්ම චිත්තය ඉතිරි වෙයි. ආත්ම සංඥාව
සහ ආත්ම චිත්තය සම්පූර්ණයෙන්ම බිඳී යන්නේ අරිහත්භාවයට පත් වීමෙනි.
සක්කාය දිට්ඨිය නොහොත් ආත්ම දෘෂ්ටිය බිඳී යනවා යන්නෙන්
අදහස් කරන්නේ කුමක්ද ?
සත්වයා තුළ සංඛාර හට ගන්නේ, ලෝකය නිච්ච, සුඛ, අත්ථ, ශුභ වශයෙන් සැලකීම නිසා ය.මම මගේ
යනුවෙන් ගත හැකි, එසේ
ගැනීමට සුදුසු නොනැසී පවතින ආත්මයක් තමා තුළ ඇතැයි විශ්වාස කිරීම නිසා ය.
නමුත් ධර්මය දැකීමේදී, පටිච්ච
සමුප්පාද ක්‍රියාවලියට අනුව, සත්වයා
තුළ එසේ නිශ්චිතව ගත හැකි ආත්මයක් නොමැති බව ප්‍රඥාවෙන් දැකගත හැකි වෙයි. මම
යනුවෙන් එසේ ගොඩ නගා ගත් පංචඋපාදානස්කන්ධය අනිච්ච, දුක්ඛ, අනත්ථ බව ප්‍රඥාවෙන් දැකගත හැකි
වෙයි.
එම නිසාම සත්වයා තුළ එතෙක් පැවැති ආත්ම දෘෂ්ටිය බිඳී
යයි. සත්වයා තුළ ඇති ආත්ම දෘෂ්ටිය බිඳී යාම නිසාම, එතෙක්
කල් මම මගේ යනුවෙන් දැඩිව අල්ලා ගත් ලෝකය, සෑහෙන
දුරකට ඇත්හැරී යාමක් සිදු වෙයි. එසේ ලෝකය ගැන ඇල්ම බොහෝ දුරට සීමා වීම නිසාම, ලෝකයේ (පංචඋපාදනස්කන්ධයේ)
අනිච්චතාව, දුක්ඛතාව, අනත්ථතාව අවබෝධ වීම නිසාම, එතෙක් කල් දස අකුසලයේ නිරත වෙමින්
හෝ තමාගේ පැවැත්ම සලසා ගත යුතු යැයි සත්වයා තුළ පැවැති වැරැදි දෘෂ්ටියද බිඳී යයි.
එය නම් විචිකිච්ඡාවයි. එනම්, විකෘති
ක්‍රියාවන් (දස අකුසලය) කෙරෙහි තිබූ ඇල්මයි.
පට්චිච සමුප්පාදයට අනුව, සංසාර
ගමන ගොඩ නැගෙන්නේ සංඛාර (අභිසංඛාර) නිසා බවත්, සංඛාර
නිරෝධ කළ විට සංසාර ගමන අවසන් කළ හැකි බවත් යථාවබෝධයෙන් දකින විට, ලෝභයෙන් (රාගයෙන්), ද්වේෂයෙන්, මෝහයෙන් කරන කියන සිතන දෑ
(අභිසංඛාර) වාරණය කළ යුතු බව, අවබෝධ
වෙයි. මෙම අවබෝධයත් සමඟම, සීලය
යනු අවිජ්ජා මූලයෙන් හට ගන්නා සංඛාර නිරෝධ කිරීමේ වැඩ පිළිවෙල බවත්, එයට වෘත සමාදන් වීම අනවශ්‍ය බවත්, සංඛාර නිරෝධය යනු සෑම මොහොතකම, සෑම තත්පරයකම කළ යුත්තක් බවත්, එයට විශේෂයෙන් තැනක් හා වෙලාවක්
අවශ්‍ය නොවන බවත් වැටහෙයි. ඒ සමඟම සිලබ්බත පරාමාස හෙවත් සිල් වෘත සමාදන් වීමෙන්
විමුක්තිය සලසා ගත හැකිය යන වැරැදි දෘෂ්ටියද බිඳී යයි.
මෙසේ සත්වයා තුළ පැවැති සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාස යන දෘෂ්ටීන් තුන
(සංයෝජන ත්‍රිත්වය) බිඳී ගිය විට, එම
සත්වයා ආර්ය උතුමෙකු බවට පත් වේ. එනම්, නිර්වාණ
මාර්ගයට ප්‍රවිශ්ඨ වූ අයෙකු බවට පත් වේ.
සෝවාන් මාර්ගයට පැමිණීම යනු, නිර්වාණ මාර්ගයට හෙවත් ආර්ය
අෂ්ඨාංගික මාර්ගයට ප්‍රවේශ වීමයි.
පුද්ගලයා තුළ අරියකාන්ත සීලය හට ගන්නේ සෝවාන් මාර්ග
අනුගාමිකත්වයට පත් වීමෙන් අනතුරුව ය. එනම්, සංඛාර
නිරෝධ කිරීමේ වැඩ පිළිවෙල ආරම්භ වන්නේ සෝවාන් මාර්ග අනුගාමිකත්වයට පත් වීමෙන් පසුව
ය. සබ්බාසව සූත්‍රයේදීී තිලෝගුරු බුදු පියාණන් වහන්සේ පෙන්වා දුන්නේ මෙම කරුණයි.
එනම්, නිර්වාණ අවබෝධය සඳහා ප්‍රථමයෙන්
දහම් ඇස (චක්ඛුං උදපාදි) පහළ කර ගත යුතු බවයි. පටිච්ච සමුප්පාද සිද්ධාන්තය දැකිය
යුතු බවයි.
යෝ පටිච්ච සමුප්පාදං පස්සති - සෝ ධම්මං පස්සති - යෝ
ධම්මං පස්සති - සෝ මං පස්සති ....
යමෙක් පටිච්ච සමුප්පාදය දකී ද - ඔහු ධර්මය දකී - යමෙක්
ධර්මය දකී ද - ඔහු බුදුන් දකී ....
සත්වයා පංචස්කන්ධය ප්‍රිය භාවයෙන් ගෙන, නැවත නැවත ගොඩ නගන සංඛාර නිසා සසර
ගමනක් නිර්මාණය වන බව පෙන්වා දුන් බුදු පියාණන් වහන්සේ, එම සසර ගමන අවසන් කරලීමට නම්, අවිද්‍යාවෙන් හට ගන්නා සංඛාර
නිරෝධ කළ යුතු බව පෙන්වා දුන් සේක.
වයධම්ම සංඛාරා - අප්පාමාදේන සම්පාදේථ
සංඛාර නිරෝධ කළ හැකි ධර්මයෝ ය - අප්‍රමාදීව ඒ සඳහා වෑයම් කරන්න යනු අවසන් බුද්ධ වචනයෙන්ද පෙන්වා දුන් උත්තරීතර නිර්වාණ මාර්ගයයි.
සංඛාර නිරෝධ කළ හැකි ධර්මයෝ ය - අප්‍රමාදීව ඒ සඳහා වෑයම් කරන්න යනු අවසන් බුද්ධ වචනයෙන්ද පෙන්වා දුන් උත්තරීතර නිර්වාණ මාර්ගයයි.
සංඛාර නිරෝධ කිරීම යනු ලොව්තුරු බුදු පියාණන් වහන්සේ, ලෝක සත්වයාට විමුක්තිය සලසා ගැනීම
පිණිස අනුදැන වදාළ උතුම් වූ ආරියකාන්ත සීලයයි. එහි අවසන් ප්‍රතිඵලය පරම ශාන්ත
ලොව්තුරු නිර්වාණයයි.
දුර්ලභ
ක්ෂණ සම්පත්තිය ලබා, දෙව්
මිනිසුන් වී උපන් සැමට, උතුම්
චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වේවා !!! සියලු සත්වයෝ සසර දුකින් අත මිදෙත්වා !!!
සියලු සත්වයෝ පරම අමා ශාන්ත නිර්වාණ සුවයෙන් සුඛිත තර වෙත්වා !!!
No comments:
Post a Comment