Sunday, September 18, 2016

මහනුවර යුගයේ අපේ පැරැන්නෝ මස්මාංස අනුභව කලෝය... ලිඛිත සාක්ෂි ...

'පිසව මේ බත් පිසින ලකුණෙනි'
මහනුවර යුගයේ සූප ශාස්‌ත්‍රය පිළිබඳ කියෑවීමක්‌
රුවන් වින්ඩ්සර්

සිංහල ජන සමාජයේ ආහාරයට හිමි වූයේ සුවිශේෂී ස්‌ථානයකි. එහෙත් ඒ පිළිබඳව පැරැන්නෝ දැඩි අවධානකින් යුතුව ලේඛනගත නොකළ නිසාදෝ එම තොරතුරු සොයා ගත යුත්තේ අන්‍ය සාහිත්‍යග්‍රන්ථ මහත් පරිශ්‍රමයකින් පරිශීලනය තුළිනි. පාලි රසවාහිනිය, සද්ධර්මාලංකාරය වැනි ග්‍රන්ථයන්හි කතාවස්‌තුවල එකල ජනයාගේ ආහාර රටාව, ඔවුන් ආහාර පිළියෙල කරගත් ආකාරයත් සඳහන් වේ. සද්ධර්මාලංකාරයේ එන සාලිරාජ වස්‌තුවේ එන කම්මාරතිස්‌සයන් සුකරමාංශ පස්‌ ආකාරයකට (තෙල්මස, මධුමස, පෙණ මස, අගුරු මස, දුරු මිරිස්‌ ආදිය බහන ලද සම්භාර සංයුත්තක) පිළියෙල කර ගත් බව සඳහන් වීමෙන් සූපශාස්‌ත්‍රය පිළිබඳ ඔවුන්ගේ දැනුම පිළිබිඹු වේ.

අප අවධානයට මෙහිලා වඩාත් යොමුවන්නේ මහනුවර රාජධානි සමයේ ආහාරපාන කෙරෙහිය. මක්‌ නිසාදයත් අදටත් අප අනුභව කරන බොහෝ ආහාරපාන ආදිය ඒ යුගයේ ආහාරපාන නිසාය. මහනුවර යුගයේ සූපශාස්‌ත්‍ර කටයුතු ප්‍රධාන වශයෙන් දෙකොටසකට බෙදා දැක්‌විය හැකිය.

1. සාමාන්‍ය ජනතාවගේ ආහාර

2. දළදා මාලිගාවේ දාන භෝජන හා රජවාසල රාජ භෝජන

එම යුගයේ සාමාන්‍ය ජනතාවගේ ආහාරපාන පිළිබඳව ක්‍රි. ව. 1816 - 1820 කාලයේ දී බ්‍රිතාන්‍ය යුද්ධ වෛද්‍ය කාර්ය මණ්‌ඩලයේ සේවයේ නියුතුව සිටි වෛද්‍ය ජෝන් ඩේව්ගේ Interior of Ceylon කෘතියේ මෙසේ සඳහන් වේ.

".........ප්‍රධාන ආහාර වේල මද්දනේ ගනිති. එය වැඩි වශයෙන් බත්, ව්‍යංජන යන මෙයින් සමන්විත ය. ව්‍යංජන පිළියෙල කිරීමේ දී මිරිස්‌, ලුණු, දෙහිඇඹුල් සහ වියළි ගොරකා යොදනු ලැබෙයි. උසස්‌ පෙලැන්තිවල ඇත්තෝ නා නා ප්‍රකාර ව්‍යංජන ප්‍රයෝජනයට ගන්නා හු බිත්තර, කුකුළු මස්‌, දඩ මස්‌ ආදි මාංසාහාර ද අනුභව කරති. ඔවුහූ ගව මාංශ භක්‌ෂණයෙන් වැළකුණු බව පෙනේ. මෙසේ කරන්නේ ගව මස්‌ කෑම ආගම් විරෝධී නිසා නොව එළදෙනක විසින් කිරි පොවන ලද රජ කෙනකු විසින් තහනම් කෙරුණු හෙයිනි. හෙතෙම මේ තම කෘතඥතාව පළ කරන පිණිස ගව මස්‌ කෑම තහනම් කළේය. දිවා භෝජනයට අමතරව සමහරු පාන්දර ද අනුභව කරනු අතර සැම දෙනාම පාහේ රෑ හතේ සිට අට තෙක්‌ කාලය තුළ ද ආහාර ගනිති. ඉහත සඳහන් ආහාර ද්‍රව්‍ය හැර තවත් බොහෝ ආහාර වර්ග ද ඔවුහු භාවිතා කරති. කේජු සහ බටර් ගැන ඔවුන් දන්නා බවක්‌ නොපෙනේ. ගී නමින් හැඳින්වෙන පිරිසිදු කරන ලද බටර් ඔවුහූ නිතරම පාහේ ව්‍යංජනවලට යොදති........ (පිට 253-254) ඩේව් දුටු ලංකාව, ඇල්ලෙපොළ එච්. ඇම්. සෝමරත්න)

සිංහල රාජ භෝජන ගැන අවධානය යොමු කිරීමේ දී දළදා මාලිගාවේ දාන භෝජන කෙරෙහි ද අප අවධානය යොමු වන්නේ මහනුවර යුගයේ රාජ භෝජන පිළියෙල කළ අයුරින්ම එම දාන භෝජන අදත් පිළියෙල වන නිසාය. දිනපතා දළදා මාලිගාවේ ව්‍යංජන තිස්‌ දෙකකින් හා සහල් සේරු තිස්‌ දෙකකින් යුත් භෝජන හා සවස ගිලන්පස පුජාවට අවුළුපත් සහිත ගිලන්පස පූජාව සූදානම් කරන අතර ඒ සඳහා යොදා ගන්නා දානෝපකරණ මෙසේය.

* වේලක වට්‌ටෝරුව

1. කැකුළු හාල් සේරු 5 2. තැම්බූ හාල් සේරු 32

3. ව්‍යංජන ග්‍රෑම් 500 බැගින් 4. පොල් තෙල් සේරු 2

වර්ග 32

5. පොල් ගෙඩි 15 6. ලුණු සේරු 1/2

7. කහ කුඩු ග්‍රෑම් 500 8. මිරිස්‌ කුඩු ග්‍රෑම් 500

9. සුදු ලූණු ග්‍රෑම් 200 10. රතු ලූනු ග්‍රෑම් 500

11. කොත්තමල්ලි කුඩු 12. අබ ග්‍රෑම් 50

ග්‍රෑම් 200

13. උළුහාල් ග්‍රෑම් 50 14. උම්බලකඩ ග්‍රෑම් 500

15. ගම්මිරිස්‌ ග්‍රෑම් 100 16. සව්හාල් ග්‍රෑම් 100

17. පැණි බෝතල් 3 18. මී පැණි බෝතල් 1/4

19.ඉදුනු ඇඹුල් කෙසෙල් ගෙඩි 10 20. කෙසෙල් කොළ ඉරු 2

21. දෙහි, කරපිංචා, සියඹලා, 22. එළඟිතෙල් බෝතල් 1/4

රම්පෙ, ගොරකා, කුරුඳු

ෆ ගිලන්පස පූජාව සඳහා

1. සීනී 2. හකුරු 3. ඉඟුරු 4. මී පැණි

5. සූකිරි 6. උක්‌ පැණි 7. අඹ ඉස්‌ම 8. වෙඬරු

9. ඉඟුරු දෝසි 10. ගිතෙල් 11. මුද්දරප්පලම්

12.පැණි දොඩම් 13. තේ කොළ


රාජ භෝජන පිළියෙළ කිරීමට විශේෂ නිලධාරියකු යටතේ සැලකිය යුතු නිලධාරීන් පිරිසක්‌ රජ වාසල විය. බත් වඩන වනක්‌කු නිලමේ. එම නිලධාරීන්ගේ ප්‍රධානියා වූ අතර ඔහු යටතේ "මඩප්පුරාළලා" හා "පිහන රාළවරු" විය. මඩප්පුරාලලා පිස නිම වූ රාජ භෝජන භෝජනාගාරයට ගෙනැවිත් තැබීම සිදුකළ අතර පිහන රාළලා ඉවුම් පිහුම් කටයුතු සිදු කළ දක්‌ෂ කෝකියෝ විය. තැටියක්‌ මත එළන ලද පිරිසිදු කෙසෙල් කොළයකට දමා ගෙන රජතුමා අතින්ම ආහාර අනුභව කරන විට බත් වඩන නිලමේ සිය රාජකාරිය වශයෙන් හැඳි ආදියෙන් රජුට ආහාර බෙදුවේය.

රාජ භෝජන පිළියෙල කිරීම ගැන සඳහන් "සිංහල සූප ශාස්‌ත්‍ර පොත" නම් වූ ග්‍රන්ථයක්‌ වන අතර එය කවි 320 යුක්‌ත වේ. කවරකු විසින් කවරදා රචිත දැයි යන්න එහි නොදැක්‌වෙන නමුත් එහි අවසානයේ එන

"විජයසුන්දර වික්‍රමසිංහ චන්ද්‍රසේකර රාජකාරුණා, මුදලිගේ මුනුබුරු වන දෙන්නාම වර්ෂ 1815 දී ශ්‍රී වික්‍රම රාජසිංහ මහ රඡ්ජුරුවෝ ඉංග්‍රීසීන් විසින් පහකරන තුරු මහ මුළුතැන්ගේ රාජකාරි කළ බව දැන ගත යුතුයි"

මෙම වැකියෙන් රජුගේ මුළුතැන්ගෙයි රාජකාරි කළ පරපුරට ප්‍රවේණියෙන් පැවති සූප ශාස්‌ත්‍ර පොත, සිංහල රාජවංශයේ අවසානයත් සමග මුළුතැන්ගෙයි භාරව සිටි රාජකරුණා මුදලිගේ මුනුබුරු දෙදෙනාට අයිති වූ වග පැහැදිළිය.

දෙවියන් බුදුන්ට                   ත්
ලොව අගපත් රජුන්ට            ත්
අන් සවු සතුන්ට                   ත්
අහර මුල් වෙයි පණ රකින්ට   ත්

වළ¹ ගෝත්                    තර
ඇති වන ලෙස ගාත්         තර
මේ සූප සාස්‌                   තර
කියමි පිසමන් නිසි නිරුත් තර




යනුවෙන් මේ ග්‍රන්ථය සූප ශාස්‌ත්‍රය බවද,


මෙ ලකුණු මුලගි              නා
සත ගෙන තනා බොජු       නා
කැත් රජකුල ම                නා
වඩා මෙහෙ වැඩවේය නිති නා



යන්නෙන් ඒ සූප ශාස්‌ත්‍රය රජගෙදර පිසුම් ක්‍රමය බව ද සඳහන් වේ.

එහි මුලින්ම විෂ භෝජනයන් පිළිබඳ විස්‌තරයක්‌ ද, ගිනි මෙලවීම සඳහා ගත යුතු දර ගැන සටහනක්‌ ද, ළිප් බැඳිය යුතු ආකාරය ද දක්‌වා ඇත. ඉන් අනතුරුව පැසි බතින් පටන් ගත් විවිධ පිසුම් ක්‍රම එයි. පැසිබත එකල නම් ගත් භෝජන වූ බැව් පෙනෙන අතර එය පිසිනා ආකාරය කවියෙන් මෙලෙස දැක්‌වේ.



පැසි බත් පිසින             කල
දියවර ඉතා මන            කල
අඩු වැඩි දැන එ             කල
මෙකී සැටියේ පිසව මන කල

පැස නිම වු මසුන් ම                  ස්‌
ගඩු වැලවු කර කො                   ස්‌
පැලහු දියෙහි ම                         ස්‌
මෙ හැම එක සරිය ගෙන උපදෙ   ස්‌

පොතු හැර ඉගුරු                   ලු
ඉගුරුත් ලුණුත්                      ලු
උම්බල මසින්                       ලු
සමග පොල් සුනු බැදි පැසි      ලු

මෙකී පියවරට                      ත්
ගිතෙලින් උලක්‌කුවකු           ත්
නොසාල් නොකොමුව           ත්
මෙසේ පිසුවොත් වේය පැසිබ  ත්

සිවිය මුල්ගෙන             ලා
සිද්දිගුරු ගල ගා            ලා
ඉසු සාලුත්                    ලා
සමග මුංබියලිත් ගරා      ලා

තම්බා මකුලුනෙ                   නි
කොළ සුලුනු ඉගුරෙ              නි
පැසෙනවා ගිතෙලි                 නි
පිසව මේ බත් පිසින ලකුණෙ  නි




ව්‍යංජන අතර මෙහි බහුලව දැක්‌වෙන්නේ මස්‌මාංශ පිසින ආකාරයි. මස්‌ සේදීමේ දී කිරි මෝරු කොත්තමල්ලි හා ඉඟුරු වතුර භාවිත කළ යුතු බවද, මස්‌ පිසීමේ දී උක්‌ සකුරු ගිතෙල් භාවිතය ද මෙහි දැක්‌වේ. එළවළු අතර පොළොස්‌ මාළුව විශේෂ වන අතර මස්‌ අඹරා මුං රස යොදා පොලොස්‌ මාළුව තනන ක්‍රමයක්‌ ද මෙහි ඇත. සෑම ව්‍යංජනයකටම කුළුබඩු හැරුනු විට, මුං රස හා ගිතෙල් හෝ යෙදීම පිසුම් ක්‍රමයෙහි අන්තර්ගතය පිසු සෑම දෙයකටම සුවඳ කැවීම ද කර ඇත.

පොතේ අවසාන කොටස යොදා ඇත්තේ කැවිලි පෙවිලි තනාගන්නා අයුරු විස්‌තර කිරීමටය. වර්ග කීපයක කැවිලි අතර "මුතුලාලු" සාදාගන්නා ක්‍රමය මෙහි මෙසේ දැක්‌වේ.



පොල් සකුරු ගනිමි    නේ
එළකළ මුං පිටියෙ     නේ
අඹා පිරිවස්‌               නේ
උයනු මේ නම්දෝ දැ නේ


අත්සුණු පොල් සුණු   ලා
බැද සකුරෙන් අනා    ලා
අඹ සකුරු වෙනි       ලා
පිටිවසුන් පිසව මදුර   ලා


මුං බියෙලි නැලියෙ     ක
සාල් ගත් තුං නැලිය    ක
කෙටු පිටි විතෙර        ක
උයා මී කිරිලා පදම් දැ ක


පත් පෑර වියල             නු
අත් සුනු සකුරු වියල    නු
ඉස ඉසලා බඳී             නු
මීට මුතුලාලුයයි නම් ද  නු




මහනුවර යුගයේ දී පවා අප සතුව පැවති සූපශාස්‌ත්‍ර දැනුම මෙතෙකැයි කියා නිම කළ නොහැක. සූප ශාස්‌ත්‍රය ගැන මෙන්ම එකල ඒ සඳහා භාවිතා කළ තාක්‌ෂණය ද අප අවධානයට යොමු විය යුතු අංශයක්‌ බව මෙහිලා මතක්‌ කරන්නට කැමැත්තෙමි.

* ආශ්‍රිත ග්‍රන්ථ

1. සිංහල සාහිත්‍ය වංශය - මහාචාර්ය පුංචිබණ්‌ඩාර සන්නස්‌ගල (1961)

2. ඩේව් දුටු ලංකාව - ඇල්ලෙපොළ එච්. ඇම්. සෝමරත්න (1967)

3. සිංහල සමාජ සංවිධානය - මහාචාර්ය රැල්µa පීරිස්‌ (1964)

No comments:

Post a Comment