Wednesday, February 10, 2016

මාංස භෝජනය වරදක් නොවන බව නිවැරදිව විස්තර කෙරෙන ආම ගන්ධ සුත්‍රය

මස් මාළු අනුභවය නිවැරදිව විස්තර කෙරෙන ආමගන්ධ සුත්‍රය සිංහල පරිවර්තනය
ආමගන්ධය යනු පිලී ගඳයි. සතාගෙන් කයෙන් ප්‍රාණය නිරුද්ධ වූ විට එනම් ඉවත් වූ විට ඉතිරිවන්නේ ශරීරයයි. එහි ඇත්තේ ආපෝ තේජෝ වායෝ පඨවි මූලධාතු හතරයි. අන් කවරවූද සත්ව නොවූ ආහාරයකද ඇත්තේ එම මූලධාතු හතරමයි. වෙනස ඇත්තේ සත්ව මාංස වල ඇති පිලී ගඳයි. ව්‍යවහාරයේ මෙය පිලිහඩු වශයෙන් ගැනේ. මත්ස්‍ය මාංස අනුභව නොකරන ආමගන්ධ නම් බමුන්කේ පිරිස පිරිවාරගෙන අප මහා භාග්‍යවතුන් වහන්සේ මුණ ගැසී මස්මාංස වලදනවාදයි ප්‍රශ්න කල විට
කස්සප බුදු රජාණන් වහන්සේ විසින් තිස්ස නම් බමුණාට කරන ලද දේශනය නැවතත් ගෞතම බුදුන් වහන්සේ විසින් ආමගන්ධ බමුණාට දේශනා කරන ලදී.
සුත්තනිපාතයේ ආමගන්ධ සුත්‍රයේ පෙර බුදුවරු පවා ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය වැළඳු බව එයින් සනාත වෙයි. එය මාංශ ආහාරය සම්බන්ධයෙන් බුදුවරු එකම ආකල්පයක් දරන බවට සාධකයෙකි. එහි සඳහන් ආකාරයට එම කතා පුවත කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයට සම්බන්ධ වෙයි. බ්‍රාහ්මණ වංශික තිස්ස නම් තාපසයෙක් පිරිවර තාපසයන් සහිතව මාංශ ආහාර වලටත්, මාංශ ආහාර අනුභව කරන අයටත් අපහාස කරමින්, බැනවදිමින් සිටියේය. තිස්ස තාපසයා ප්‍රකාශ කෙළේ, මෙනේරි, අමු ඇට, තල කොළ, දලු, අල, මුල් පලතුරු ආදී දැහැමින් ලබන දේ වළඳන දැහැමින් සැනසෙන අය කාමය නොපතන, බොරු නොකියන අය බවයි. 
දිනක් කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ලිහිණි මස් සහිත ඇල් හාලේ බතක් දානය වශයෙන් ලැබ එය වළඳනු දුටු තිස්ස තාපසයා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගෙන් මෙසේ විචාළේය. “ඔබ වහන්සේ කලින් පැවසුවේ, පිළී ගඳ තමාට කැප නැති බවය. එහෙත් දැන් ඔබ වහන්සේ මනාව පිසින ලද ලිහිණි මස් සමග ඇල් හාලේ බත් වළඳති”. කාශ්‍යප සමිඳුනි, ඔබ වහන්සේ පිළී ගඳ වශයෙන් සඳහන් කළේ කුමක්ද? තාපසයා විසින් අසන ලද ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් කාශ්‍යප බුදුන් වහන්සේ ප්‍රාණ ඝාතය, වධදීම, අත්පය සිඳීම, සතුන් සිර කොට තැබීම, සොරකම, බොරුකීම, වංචා කිරීම, ක්‍රෝධයෙන් කල් ගෙවීම, අනුන්ගේ භාර්යාවන් ඇසුරු කිරීම, මෙලොව පරලොව නොපිළිගැනීම, පින් පව් නොපිළිපැදීම ඇතුළු තවත් අකුසල රාශියක් කිරීම ආමගන්ධය වන බවත්, මාංශ ආහාරය ආමගන්ධය නොවන බවත් (ඒසාමගන්ධෝ නහි මාංශ භෝජනං) දේශනා කළහ.

241. තිස්ස බ‍්‍රාහ්මණයා :
සාමාකචිංගුළකචිනකානි ච
පත්තප්ඵලං මුලප්ඵලං ගවිප්ඵලං
ධම්මේන ලද්ධං සතමස්නමානා
න කාමකාම අලිකං භණන්ති
මෙනේරි, අමු ඇට, තල ගුලි, කොළ, දළු, අල, මුල්, පළතුරු ආදී දැහැමින් ලැබෙන දේ වළඳන, දැහැමින් සැනසෙන උදවිය, කාමය නොපතන බැවින් බොරු නොකියති.
242. යදස්නමනෝ සුකතං සුනිට්ඨිතං
පරේහි දින්නං පයතං පණීතං
සාලීනමන්නං පරිභුඤ්ජමානෝ
සෝ භුඤ්ජතී කස්සප, ආමගන්ධං
එහෙත් රසවත්ව පිසින ලද, ඇල් හාලේ බතින් යුතු දනක් කෙනෙක් පූජා කළ විට, කාශ්‍යප බුදු සමිඳුනි, ඔහු වළඳන්නේ පිළීගඳ නොවේද?
243. න ආමගන්ථෝ මම කප්පතී’ති
ඉච්චේව ත්වං භාසසි බ‍්‍රහ්මබන්ධු
සාලීනමන්නං පරිභුඤ්ජමානෝ
සකන්තමංසේහි සුසංඛතේහි
පුච්ඡුාමි තං කස්සප ඒතමත්ථං
කථංපකාරෝ තව ආමගන්ධෝ
ඔබවහන්සේ කලින් පැවසුවේ ”පිළීගඳ තමාට කැප නැති බව”ය. එහෙත් බ‍්‍රහ්මබන්ධූනි, දැන් වනාහී ඔබවහන්සේ මනාව පිසින ලද ලිහිණි මස් සමඟ ඇල් හාලේ බත් වළඳති. කාශ්‍යප සමිඳුනි, ”පිළීගඳ” වශයෙන් ඔබ වහන්සේ අදහස් කළේ කුමක්ද?
244. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ :
පාණාතිපාතෝ වධඡේදබන්ධනං
ථෙයියං මුසාවාදෝ නිකතී වඤ්චනානි
අජ්ඣේනකුජ්ඣං පරදාරසේවනා
ඒසාමගන්ධෝ නහි මංස භෝජනං
ප‍්‍රාණීන් ඝාතනය කිරීම, වධ දීම, අතපය සිඳලීම, සිරකොට තැබීම, සොරකම, බොරුවෙන් රැවටීම, වංචා කිරීම, කපටිකම, අනුන්ගේ භාර්යාවන් ඇසුරු කිරීම යන මේවායි පිළීගඳ, මාංශ භෝජනය නොවේ.
245. යේ ඉධ කාමේසු අසඤ්ඤතා ජනා
රසේසු ගිද්ධා අසුචීකමිස්සිතා
නත්ථිකදිට්ඨි විසමා දුරන්නයා
ඒසාමගන්ධෝ න හි මංසභෝජනං
කාම සැපයෙහි මුළා වූ, කම්රසයෙහි ගිජු වූ, අකුසල් සමඟ එක් වූ, මෙලොව පරලොව නොපිළිගන්නා, පින් පව් නොපිළිගන්නා කෙනෙක් වේ ද, මෙයයි පිළීගඳ, මාංශ භෝජනය නොවේ.
246. යේ ලූඛසා දාරුණා පිට්ඨිමංසිකා
මිත්තද්දුනෝ නික්කරුණාතිමානිනෝ
අදානසීල න ච දෙන්ති කස්සචි
ඒසාමගන්ධෝ න හි මංසභෝජනං
යමෙක් නපුරු සිත් ඇතිව, කුරිරු ගති ඇතිව, කපටිව සිටිත් ද, මිතුරන්ට සතුරු වෙත් ද, කරුණා රහිත වෙත් ද, අතිමානයෙන් වසත් ද, මෙයයි පිළීගඳ, මාංශ භෝජනය නොවේ.
247. කෝධෝ, මදෝ, ථම්භෝ, පච්චුට්ඨාපනා ච
මායා, උසුයා භස්සසමුස්සයෝ ච
මානාතිමානෝ ච අසබ්භි සන්ථවෝ
ඒසාමගන්ධෝ න හි මංසභෝජනං
ක්‍රෝධය, මදය, දැඩි බව, එකටෙක කිරීම, මායාව, අනුන්ට ඊර්ෂ්‍යා කිරීම, පුරසාරම් දෙඞීම, අතිමානයෙන් සිටීම, දුදනන් සමඟ ඇසුර වේ ද, මේවා ය පිළීගඳ, මාංශ භෝජනය නොවේ.
248. යෝ පාපසීලා ඉණඝාතසුචකා
වෝහාරකූටා ඉධ පාටිරූපිකා
නරාධමා යේ’ධ කරොන්ති කිබ්බිසං
ඒසාමගන්ධෝ න හි මංසභෝජනං
නරක ගතිගුණ ඇති, ණය ගත් පසු ආපසු නො ගවන, ධාර්මික වේශයෙන් කූට ගණුදෙනු කරන, අධම මිනිස්සු බොහෝ පව් රැස්කරත්. මේවා ය පිළීගඳ, මාංශ භෝජනය නොවේ.
249. යේ ඉධ පාණේසු අසඤ්ඤතා ජනා
පරේසමා’දාය විහේසමුයියුතා
දුස්සීල, ලූද්දා, ඵරුසා, අනාදරා
ඒසාමගන්ධෝ න හි මංසභෝජනං
සතුන් කෙරෙහි කරුණාවක් නොමැති, අනුන් සතු දේ බලෙන් පැහැර ගන්නා වූ, අනුන්ට වධහිංසා කරන, දුස්සීල, කුරිරු නපුරු බස් ඇති, දයාරහිත වූ යමෙක් වේද මෙයයි ‘පිළීගඳ’, මාංශ භෝජනය නොවේ.
250. ඒතේහි ගිද්ධා විරුද්ධාතිපාතිනෝ
නිච්චුයියුතා පෙච්ච තමං වජන්ති යේ
පතන්ති සත්තා නිරයං අවංසිරා
ඒසාමගන්ධෝ න හි මංසභෝජනං
පංච කාමයන් කෙරෙහි ගිජු වී, විරුද්ධවාදීන් ඝාතනය කරන, නිති පව් කරන මේ උදවිය අඳුරටම වැටෙත්. ඔලූව යටිකුරු කොට නිරයටම ඇද වැටෙත්. මෙයයි ‘පිළීගඳ’, මාංශ භෝජනය නොවේ.
---------------------------------------------------------------------------------
251. න මච්ඡමංසං නානාසකත්තං
න නග්ගියං, න මුණ්ඩියං, ජටාජල්ලං
න ඛරාජිනානි නාග්ගිහුත්තස්සුපසේවනාවා
යේ චාපි ලෝකේ අමරා බහූ තපා
මන්තා’හුතී යඤ්ඤමුතූපසේවනා
සෝධෙන්ති මච්චං අවිතිණ්ණකංඛං
මාළු – මස් කිසිදෙයක් නොවළඳින, නිර්වස්ත‍්‍රව තපස් රකින, හිස ද මුඩු කරන, ජටා මඩුළු ද දරන, ගෝන සම් දරන, අළු තවරාගෙන සිටින, ගිනි දෙවියන් පුදන, යාගහෝම කරන, මන්තර මතුරන, සෘතු ගුණ සොයන කවරෙකු නමුත්, සැකයෙන් එතෙර නොවුන කෙනා මේ තුළින් නම් කිසිදා පිරිසිදු නොවෙත්.
252. සේතේසු ගුත්තෝ විදතින්ද්‍රියෝ චරේ
ධම්මේ ඨිතෝ අජ්ජවමජ්ජවේ රතෝ
සංගාතිගෝ සබ්බදුක්ඛප්පහීනෝ
න ලිප්පති දිට්ඨසුතේසු ධීරෝ
ඉඳුරන් රැකගෙන, සංවර වූ, ඒ ඉඳුරන්ගේ යථා ස්වභාවය අවබෝධ කොට ගෙන, සද්ධර්මය තුළම සිටිනා, අවංක වූ, මෘදු වූ, කෙලෙස් දුරු කළ හැම දුක් නසා දැමූ මුනිවරු අසන, දකින, ආඝ‍්‍රාණය කරන, රස විඳින, පහස ලබන කිසිවකට නොඇලෙති.
253. සංගීතිකාරක මහරහතන් වහන්සේලා :
ඉච්චේතමත්ථං භගවා පුනප්පුනං
අක්ඛාසි නං වේදයී මන්තපාරගූ
චිත‍්‍රාහි ගාථාහි මුනි පකාසයී
නිරාමගන්ධෝ අසිතෝ දුරන්නයෝ
භාග්‍යවතුන් වහන්සේ යළි යළිත් මෙකරුණ වදාළ සේක. වේදමන්ත‍්‍රයන්හි කෙළ පැමිණි ඒ බ‍්‍රාහ්මණයාණෝ මෙය මනාව දැනගත්හ. පිළීගඳින් තොර, සියලූ කෙලෙසුන්ගෙන් තොර වූ මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් මියුරු ගාථාවෙන් වදාරණ ලදී.
254. සුත්වාන බුද්ධස්ස සුභාසිතං පදං
නිරාමගන්ධං සබ්බදුක්ඛප්පනූදනං
නීචමනෝ වන්දි තථාගතස්ස
තත්ථේව පබ්බජ්ජමරෝචයිත්ථා’ති.
කෙලෙසුන්ගෙන් තොර වූ, සියලූ දුක් කෙළවර කරන භාග්‍යවතුන් වහන්සේ මනාකොට දේශනා කරන ලද මේ සුභාෂිත වචනය දැනගත්තේය. හෙතෙම නිහතමානී සිතින් තථාගතයන් වහන්සේට වන්දනා කොට බුදුසසුනෙහි උතුම් පැවිදි බව ඉල්ලා සිටියේය.


252. ධෘතිමත් සයිඳුරන්හි ගෝපනයෙන් (ඉන්ද්‍රිය සංවර ශීලයෙන්) යුක්ත වූයේ (ඥාත පරිඥාවෙන්) දැනගත් ඉඳුරන් ඇත්තේ හැසිරෙන්නේය. (ආර්‍ය්‍යමාර්‍ගයෙන් දතයුතු වූ) සිවුසස් දහම්හි පිහිටියේ (සෙද ගැමි නැණින්) ඉදු මුදු බව්හි රැඳීයේ (අනගැමි මගින්) රාග, ද්වේෂ සඞ්ගයන් ඉක්මවූයේ (රහත් මගින්) පැහූ සව් දුක් ඇත්තේ දෘෂ්ටශ්‍රැත ධර්මයන්හි නො ලැගෙයි.
253. මෙසේ භාග්‍යවතුන්වහන්සේ මේ අර්ථය පුනපුනා වදාළ සේක, වෙද මන්ත්‍ර‍යන්හි පරතෙර පත් ඒ (තිෂ්‍ය) බ්‍රාහ්මණ, එය දැනගත්තේය. ආමගනධ (සංඛ්‍යාත ක්ලේශ) යන්ගෙන් මිදුනු, තෘෂ්ණාදෘෂ්ටි නිඃශ්‍ර‍යන් නැති (බාහිර දෘෂ්ටි වශයෙන් කිසිවෙකු විසිනුදු) නොපැමිණවිය හැකි මුනිරජ විසිතුරු වූ ගයින් මෙය පැවසීය.
254. බුදුරජුන් ගේ සියලු දුක් දුරලන නිකෙලෙස් වූ සුභාෂිත (ධර්ම) පදය අසා නැමුණු සිතැත්තේ තථාගතයන් වහන්සේගේ (සිරිපා) වැන්දේය. ඒ අස්නෙහිදී ම පැවිද්ද සැලකෙළේය.


ආමගන්ධ සූත්‍ර‍ය නිමි.

No comments:

Post a Comment