Tuesday, February 16, 2016

මාංස භෝජනය හා සතුන් මැරීම පටලවා ගත් බෞද්ධයා

මාංස භෝජනයත් ප්‍රාණ ඝාතයත් අද බෞද්ධයාට පැටලී තිබේ. වැඩි දෙනෙක් මත්ස්‍ය මාංස කොතරම් ගුණදායි වූවත් මාංස පරිභෝජනය ප්‍රාණ ඝාතයට හවුල් වීමක් ලෙස වැරදි ලෙස අර්ථකථනය කොටගෙන රෝග වලින් දුක් විඳි. නමුත් මේ මතයේ සිටින බොහෝ දෙනෙක් කරවල උම්බලකඩ මාළු හා කුකුල්මස් ආහාරට ගනී. ඔවුන්ගේ මෙම ප්‍රතිපදාවටද නිවැරදි පදනමක් නැත.   
අද බොහෝ බෞද්ධයින් මහා ප්‍රශ්නයක් කරගෙන රෝගීන් බවට පත්වී තිබෙන මෙම මාතෘකාව පිළිබඳව සරලව මෙන්ම ධර්මානුකුලව විමසා බැලීමට පදනමක් සකස් කර දීම මෙම ලිපියේ අරමුනයි. 
මස් මාංශ අහාරයට ගැනීම බෞද්ධයන්ට සුදුසුද යන සැකය ඇතිවීමට මුලික හේතු ලෙස දැක්වෙන්නේ එනිසා
  1. ප්‍රාණඝාත අකුසලය සිදුවීම හෝ එයට  අනුබල දීමක් සිදුවීම
  2. සියලු සතුන් වෙත මෛත්‍රිය කිරීමට නොහැකි වීම සහ 
  3. ශාකමය ආහාර ගැනීම නිසා විශේෂිත සිල්වත් බවක් ඇතිවීම යන කාරණා  මෙන්ම 
  4. බුදු පසේබුදු මහරහතන් වහන්සේලා වැනි උත්තමයන් මස් මාංශ අනුභව කරාවිදැයි යන සැකයයි.


මේ සම්බන්ධයෙන් ඉතා පැහැදිලි විස්තරයන් ආමගන්ධ සුත්‍රය, ජිවක සුත්‍රය, මහා සිහනාද සුත්‍රයන්හි පැහැදිලිව දැක්වේ. 

මස් මාංශ ආහාරයට ගැනීම නිසා ප්‍රාණඝාතයට අනුබල දීමක්  සිදුවේද?

මේ ගැන දැනගැනීම සඳහා ප්‍රාණඝාත අකුසලය සිදුවෙන ආකාරය ගැන පැහැදිලි දැනීමක් ඇති කරගත යුතුය.
කිසියම් සත්වයකුගේ ජීවිතය, යම් කෙනෙකුගේ උපායක් මගින් අවසන් කිරීම ප්‍රාණඝාත වෙයි, පර පණ නැසීම යනුවෙන්ද මෙය හඳුන්වා ඇත. මෙලෙස ප්‍රාණඝාත අකුසලය සිදුවීමට නම් කරුණු කාරනා පහක් (5) සම්පුර්ණ විය යුතුයි.
"පාණෝ හවේ පාන සංඥි
වධක චිත්ත මුපක්කමෝ 
තේන ජීවිත නාසෝච
අංගා පංච වදස්සිමේ" 


  1. පණ ඇති සතෙකු වීම
  2. පණ ඇති සතෙකු  බව දැනීම
  3. වද දී මරන සිත
  4. මරන්නට උපායක් සැකසීම
  5. එසේ මරණයට පත් කිරීම 

මෙම අංග පහ සම්පුර්ණ නොවුයේ නම් ප්‍රාණඝාත අකුසල කර්ම පථය සම්පූර්ණ නොවේ. මේ ගැන උදාහරණ ලෙස ගමන් බිමන් යාමේදී පෑගී මැරෙන සතුන්, පහනක් පත්තු කිරීමේදී එම පහනේ දල්ලට හසු වී මැරෙන සතුන් ආදිය දැක්විය හැක. නමුත් යම් අයෙකු ගමන් කිරීමේදී මගේ පයට පෑගී සතුන් මැරේවා යන අදහසක් ඇතිකරගත හොත් පයට පෑගී මැරෙන සතුන් ගනනට ප්‍රාණඝාත අකුසලය සිදුවේ. පහනක් දැල්වීමේදී ද මේ පහන් දැල්ලට අසුවී සතුන් මියදේවා යන අදහසින් පහනක් දල්වුවහොත් එම දල්ලට හසුවී මියයන සතුන් ප්‍රමාණයට ප්‍රාණඝාත අකුසලය  සිදුවේ. 

නමුත් යම් විටක මෙසේ සිතුවහොත් "මේ දැල්ලට මදුරුවන් හසුවී මැරේවා." එවිට එම දල්ලට හසුවී මැරෙන මදුරුවන් නිසා ප්‍රාණඝාත අකුසලය සිදුවුවත් වෙනත්  සතුන් එම දැල්ලට හසුවී මැරුණද, ප්‍රාණඝාත අකුසලය සිදු නොවේ.

ප්‍රාණඝාතයේ මුලික අංග ගැන මෙසේ දැනගත යුතු අතර ප්‍රාණඝාතයේ ප්‍රයෝගයන් සයක් (6) වේ.



  1. ස්වාහස්තික ප්‍රයෝගය - මැරීම සඳහා ගැසීම්, කැපීම ආදිය තම අතින්ම සිදු කිරීම
  2. ආඥා ප්‍රයෝගය - අනෙකෙකු ලවා කරවීම
  3. නිස්සර්ගික ප්‍රයෝගය - ආයුධය දමා ගැසීම, වෙඩි තැබීම වශයෙන් තමාගේ අතින් මුදාහැර මැරීම.
  4. ස්ථාවර ප්‍රයෝගය - උගුල් ඇටවීම, තුවක්කු බැඳීම ආදිය
  5. විද්‍යාමය ප්‍රයෝගය - සුනියම් කිරීම්, වස්කවි ආදිය මගින් මරණයට පත් කිරීම.
  6. ඍධිමය ප්‍රයෝගය -  අමනුෂ්‍යයන් විසින්  බියකරු වේශයක් මවාපෑමෙන්  ආදියෙන් වන මරණය.
ආඥා ප්‍රයෝගය සය ආකාරයකින් සිදුකල හැක.

  1. වස්තුව: යනු මරනු ලබන සත්වයාය. යමෙකු කුකුලෙකු දක්වා මරණ්නට අණ කල විට නොවරදවාම එම සත්වයා මරනු ලැබුවහොත් අණ කල සහ මරණය සිදුකල දෙදෙනාටම ප්‍රාණඝාත අකුසලය සිදුවේ. එම සත්වයා නැතිව වෙනත් සතෙකු මරුවහොත් මරණය සිදුකල කෙනාට පමණක් ප්‍රාණඝාත අකුසලය  සිදුවේ.
  2. කාලය: මරණය සිදුකිරීමට නියම කරණ කාලය. කාලය ඉක්ම ගියහොත් මරණය සිදුකල කෙනාට පමණක් ප්‍රාණඝාත අකුසලය  සිදුවේ. නැතහොත් දෙදෙනාටම ප්‍රාණඝාත අකුසලය  සිදුවේ.
  3. අවකාශය: යනු මරණය සිදුකල යුතු තැන.(අකුසලය සිදුවන අයුරු පෙර ලෙසම සලකන්න)
  4. ආයුධය:  යනු මරණය සිදුකල යුතු  ආයුධය වේ. (අකුසලය සිදුවන අයුරු පෙර ලෙසම සලකන්න)
  5. ඉරියවුව:  මරනු ලබන සත්වයා සිටිය යුතු ඉරියවුව වේ. (අකුසලය සිදුවන අයුරු පෙර ලෙසම සලකන්න)
  6. 6. ක්‍රියාව : මැරීම සඳහා කරණ උපක්‍රමය. වෙඩි තැබීමට අණ කල කල්හි එසේ කිරීමෙන් මරණයට පත්කළහොත් දෙදෙනාටම ප්‍රාණඝාත අකුසලය සිදුවන අතර, වෙනත් ක්‍රමයකින් මරණයට පත්කළහොත් අණ කල තැනැත්තා මිදෙන අතර ක්‍රියාව කල තැනැත්තා හට පමණක් අකුසලය සිදුවේ.
මේ අනුව ප්‍රාණඝාත අකුසලය සිදුවන ආකාරය පැහැදිලි වෙන අතර වෙනත් කිසිම හේතුවක් නිසා  ප්‍රාණඝාත අකුසලය සිදු නොවේ. මෙයට අමතර හේතුවක් නිසා  ප්‍රාණඝාත අකුසලය සිදුවන්නේ යයි ගිහි හෝ පැවිදි කෙනෙකුන් ප්‍රකාශ කරන්නේ නම් එය බුද්ධ වචනය ඉක්මවා යෑමක් වනු ඇත.
මාංස භෝජනය පිලිබඳ අදහස තව දුරටත් නිවැරදි කරගැනීමට පහත උදාහරණය සැලකිය යුතුයි. දරුවෙකු නිදා සිටින විට, ඒ අසල කැරකෙන මදුරුවෙක් දකින මව ඒ මදුරුවා දෂ්ට කිරීමෙන් දරුවාට අනර්ථයක් සිදුවේ යැයි සිතා එම මදුරුවා මරුවහොත්,  ප්‍රාණඝාත අකුසලය සිදුවන්නේ එම මදුරුවා මැරුව මවට පමණි. නමුත් මේ මදුරුවා මැරුවේ දරුවා නිසා උවත් එම දරුවාට එයින්  ප්‍රාණඝාත අකුසලය සිදු නොවේ. එසේ දරුවාට  ප්‍රාණඝාත අකුසලය සිදු නොවන්නේ, මා වෙනුවෙන් මේ සතා මරන්න යයි අණ කිරීමක් හෝ, මා නිසා මේ සතා මැරුවොත් හොඳා යයි චේතනාවක් නො නොමැති බැවිනි.

මත්ස්‍ය මාංශ පිළිබඳවද මේ කාරණය ද මේ ආකාරයෙන් ම වේ. මස් අනුභව කරණ අය වෙනුවෙන් මැරුවද, ඒ අනුභව කරණ අය විසින් අණ කිරීමක් හෝ අවම වශයෙන් මා වෙනුවෙන් මේ සතා මරන්නේ නම් හොදයයි චේතනාවක් හෝ නොමැති නම්, අනුභව කරන්නාට හෝ මිලදී ගන්නාට  ප්‍රාණඝාත අකුසලය  සිදු නොවේ.
එපමණක් නොවේ අද ශාකමය ආහාර නිපදවිමේදීද ඇති විශාල වශයෙන් කෘමි නාශක භාවිතා වනවා. ඒ නිසා බත් කටක්  කන්නත් බොහෝ සතුන්ගේ ජිවිත අහිමි  වන බව දන ගැනීම වැදගත් වෙනවා. මස් කෑමෙන් වක්‍රාකාරව ප්‍රාණඝාත අකුසලය සිදුවෙනවා යයි සිතනා  අය,බත් කටක්  කැවත් ප්‍රාණඝාත අකුසලය සිදුවෙන්න පුලුවන්ද යන කාරණයත් විමසීම වටිනවා.

2. මස් මාංශ අනුභව කරන්නාට සියලු සතුන් වෙත මෛත්‍රිය කිරීමට නොහැකි ද?

මේ පිළිබඳව කතා කිරීමට පෙර සත්වයා  යනු කවරේදැයි විමසා බැලීම සුදුසු වේ. සියලුම සත්වයන් සෑදී ඇත්තේ නාම රූප කොටස් දෙකින් වේ. මෙය නැවත   රුප, වේදනා, සංඥා, සංකාර, විඥාන ලෙස බෙදිය හැක. (මේ එක එක අංගයන් උපාදාන ස්කන්ධ ලෙස දැක්වේ. ඒ පිළිබඳව වෙනත් අවස්ථාවක විමසා බලමු.)
රුප කොටස නැවත ආපෝ, තේජෝ, වායෝ, පඨවි, අවකාශ ලෙස බෙදිය හැක. (මෙය නැවතද රුප කලාප ලෙස බෙදිය හැකි වුවද මේ අවස්ථාවට මේ ප්‍රමාණවත් වේ)
යම් සත්වයකු මරණයට පත්වන විට මෙම නාම රුප දෙක බෙදී යයි, එම අවස්ථාවේදී  නාම කොටස නැතිවී යන අතර සතරමහා ධාතුන්ගෙන් සකස් වූ රුප කොටස පමණක් ඉතිරි වේ. 
එනම් මස් මාංශ යනු මෙසේ නාම කොටස නැතිවූ, සතරමහා ධාතුන්ගෙන් සකස් වූ රුප කොටසක් පමණි. එහිද ශාකමය ආහාරයකද වෙනසක් නැත, දෙකේම ඇත්තේ සතරමහා ධාතුන්ගෙන් සකස් වූ, සුළු කාලෙකින්  කුණුවී විනාශ වී යන කොටසක් පමණි.

කරුණු කාරනා එසේ හෙයින් සතුන් වෙත  මෛත්‍රිය පහල කිරීමට සතරමහා ධාතුන්ගෙන් සකස් වූ ආහාරයක් බලපෑම් සිදු කරනවා යයි සිතීම මිත්‍යාවක්. මෛත්‍රිය පහල  කරගත යුත්තේ සිතෙහි මිස ආහාරයෙහි නෙවේ. එමෙන්ම මෛත්‍රිය පහල කල යුත්තේද සත්වයන් හට මිස මළකුණු කෙරෙහි නොවේ.  මස් කැබැල්ලට, කරවල, උම්බලකඩ කැබැල්ලට මෛත්‍රිය පහල කරණ බොහෝ දෙනෙක් ජිවත් වන සතුන්  වෙත මෛත්‍රිය පහල නොකරයි. අතේ වහන  මදුරුවා සතෙක් බව නොසිතා ඌ කිසිඳු අනුකම්පාවක් නොමැතිව මරා දමන බෞද්ධයා මස් කැබැල්ලකට මෛත්‍රී කරයි. සියලු සතුන් කෙරෙහි මෛත්‍රිය ඇත්නම් මදුරුවෙක්, කුබියෙක් හෝ මරණයට පත්කිරීමට නොහැකියි.

නො කළ යුතු රැකියා පිළිබඳ අංගුත්තර නිකායේ, පංචක නිපාතයේ වණිජ්ජා සූත‍්‍රයේ දී භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කොට වදාළේ.
සත්ථ වණිජ්ජා සත්ව හිංසාව පිණිස හේතුවන කඩු, තුවක්කු, දුනු, ඊතල, කිරිච්චි, අතංගු දැල්, කෙමන් ආදි ආයුධ වෙළෙඳාම
සත්ත වණිජ්ජා සත්ව වෙළඳාම හෙවත් තමන්ට අයත් මිනිසුන් වහල් මෙහෙවරට, ගණිකා සේවයට විකිණීම
මංස වණිජ්ජා මස් පිණිස එළු, හරක්, කුකුළු, ඌරු ආදි සතුන් වෙළඳාම් කිරීම
මජ්ජ වණිජ්ජා මත්ද්‍රව්‍ය වෙළඳාම හෙවත් රා, අරක්කු, විස්කි, බ‍්‍රැන්ඩි, අබින්, කංසා ආදි මත් වන ද්‍රව්‍ය වෙළෙඳාම් කිරීම
විස වණිජ්ජා විෂ වෙළඳාම හෙවත් පාෂාණම් ආදි වස විස වෙළඳාම වේ

                   x ---------------------------------- x
ශාකමය ආහාර ගැනීම නිසා විශේෂිත සිල්වත් බවක් ඇතිවේ ද?

ශිලය පිලිබඳ බුදුරජානන් වහන්සේ තරම් දන්නා තවත් කෙනෙක් නැහැ. එතරම් ශිලය ගැන දන්නා බුදුරජාණන් වහන්සේ ගිහියන්ට පනවා ඇති නිත්‍ය ශිලයන් වන්නේ පංච ශීලය, උපෝසථ ශීලය, අෂ්ඨාංග ශිලය සහ ගිහි දස ශිලයයි. මින් එකම සීලයකවත් මත්ස්‍ය මාංශ කෑමෙන් වැලකීමට නම් සිල් පදයක් දක්වා නැත. ශාකමය ආහාර ගැනීම නිසා විශේෂිත සිල්වත් බවක් ඇති වෙනවා නම් උන් වහන්සේ අනිවාර්යයෙන්ම එලෙස වූ සිල් පදයක් පනවනවා ඇත. 
බුදුරජාණන් වහන්සේ පැනවූ සිල්පද ඉවත් කිරිමටත්, නොපැනවූ සිල්පද පැනවීමටත් කිසිවෙකු උත්සාහ කරනවානම්, එය බුදු රජාණන් වහන්සේ ඉක්මවා යාමක් ලෙස දැකිය යුතුයි.
මේ ගැන කතා කිරීමේදී සලකා බැලිය යුතු දෙයක් වන්නේ නිඝන්ඨනාථ පුත්‍ර සහ ඔහුගේ අනුගාමිකයන්. ඔවුන් ශාකමය ආහාර පමණක් ගනිමින් සියලු සතුන් වෙත මෛත්‍රිය පහල කරනවා යයි කියූ කොටසක්. නමුත් ඔහු බුදුරජාණන් වහන්සේ  කෙරෙහි කොතරම් ද්වේෂයකින් කටයුතු කලාද කියන කාරණය ඉතාම් ප්‍රචලිත දෙයක්. ඉතින් ශාකමය ආහාර ගැනීම නිසා විශේෂිත සිල්වත් බවක් ඇති වෙනවා නම් ඔහුට ඒ ආකාර ද්වේශ සහගත තත්වයන් ඇතිවන්නට හැකියාවක් තිබුනේ නැත.
තවද මේ කරුණ ගැන සැලකීමේදී විමසා යුතු සුත්‍රයක් වන්නේ මහා සිහනාද සුත්‍රය. මෙහිදී බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ දුෂ්කරක්‍රියා කාලය ගැන සැරියුත් මහා රහතන් වහන්සේට පවසමින් කියා සිටින්නේ එම දුෂ්කරක්‍රියා කාලය තුල තමන් වහන්සේ ආහාරය ගත් ආකාරය ගැන. එසේ පවසමින් උන් වහන්සේ පැහැදිලි කරන්නේ එසේ ආහාරය නිසා තමන්ට කිසිම විශේෂිත වූ අධිගමනයක් නොලැබූ බව.

මේ කරුණු කාරණා සැලකීමෙන් පෙනීයන්නේ ශාකමය ආහාර ගැනීම නිසා විශේෂිත සිල්වත් බවක් ඇති වෙනවා යන කරුණ මිත්‍යාවක් බවත්, යමෙක් එය එලෙස වෙයි සිතා එම වෘත අතනොහැර හිටීම සීලබ්බත පරාමාස ලෙස හඳුන්වන වැරදි  වෘතයන් ට අයත්  බවයි. එයද එකල සීල විසුද්ධිය වෙනුවෙන ඇතැම් අය පැවැත්  වූ ගෝ වෘත, අජ වෘත, සුනඛ වෘත වැනිම තවත් වෘතයක් බවයි.


බුදුරජාණන් වහන්සේ මස් මාංශ අනුමත කල අවස්ථා තිබේද?


බුදුරජාණන් වහන්සේ මස් මාංශ අනුමත කල අවස්ථා බොහොමයක්
 විනය පිටකයට අයිති වන මහාවග්ග පාලියේ භේසජ්ජකන්ධ වග්ගය පරිශිලයන කිරීමෙන් සොයා ගත හැකියි. එහි එක්තරා අවස්ථාවකදී, අමනුෂ්‍ය දෝෂයකදී ආතුරයාට අමු මස් කෑමට හෝ අමු ලේ බිමට සිදුවුවහොත් එය අනුමත කරමි කියා දක්වා ඇත. වැඩි විතර මේ ග්‍රන්ථයන් පරිශීලනය කිරීමෙන් ලබාගත හැකිය.

බුදුරජාණන් වහන්සේ මස් මාංශ වාරණය කර නැතිද?

බුදුරජාණන් වහන්සේ මස් මාංශ වර්ග දහයක් අනුභව කිරීම තහනම් කර ඇති බව ද මහාවග්ග පාලියේ භේසජ්ජකන්ධය ඇසුරෙන් සොයාගත හැකියි. පහත තියෙන්නේ එම මස් වර්ග දහයයි.
1. මිනි මස්
2. අලි මස්
3. අශ්ව මස්
4. බලු මස්
5. සර්ප මස්
6. සිංහ මස්
7. ව්‍යාඝ්‍ර මස්
8. දිවි මස්
9. වලස් මස්
10 තරස් මස් හෙවත් වෘක මස් (සමහර තැනෙක  මෙය කරබානා වලසා යනුවෙන් සඳහන් කරයි)
බුදුරජාණන් වහන්සේලාගේ වක්‍රාකාර දේශනා විලාශයක් නැත. ධර්මයේ ගුණ ගැන කියවෙන ස්වාක්ඛාත ගුණයේ තේරුම වන්නේද, මුල මැද  අග පිරිසිඳු, සැගවුන අරුත් නැති, අර්ථ ව්‍යංජන සහිත... ආදී වශයෙනි. එසේ හෙයින් මස් වර්ග 10ක් පමණක් තහනම් කිරීමෙන් පැහැදිලි වන්නේද අනිකුත් මස් මාංශ අනුභවයට තහනමක් නැති බවය. මේ වර්ග 10 තහනම් කලේද විටින් විට යම් යම් හේතුන් මත වේ.


බුදු පසේබුදු මහරහතන් වහන්සේලා වැනි උත්තමයන් මස් මාංශ අනුභව කරාවිදැයි යන සැකය

මෙය නම් සැක නොකළ යුතුම කාරණයකි. උන්වහන්සේලා ආහාරය අනුභව කරනුයේ එය ආහාරයක් වශයෙන් පමණක් සලකාගෙන මිස, අප මෙන් රස තෘෂ්ණාවෙන් නොවේ.  එම අවස්ථවේදී උන් වහන්සේලාට එම ආහාරයේ ඇත්තේ ධාතු සමුහයක් පමණි. මේ බව ආහාර අනුභවයට පෙර භික්ෂුන් වහන්සේලාට ඒ  ආහාරය පිළිබඳව ප්‍රත්‍යවේක්ෂා කල යුතු අන්දම ගැන පනවා ඇති අයුරු සලකා බැලීමෙන් පැහැදිලි වේ.

බුදුරජාණන් වහන්සේ මත්ස්‍ය මාංශ පිළිගත් බව පිළිබඳව කියවන ජිවක සුත්‍රය සීහ සේනාපති ගේ දානය ගැන බොහෝ විට අසන්නට ලැබේ. මේ ඒ වැනි තවත් අවස්ථාවක්
එක්තරා අවස්ථාවක බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර කුටාඝාර ශාලාවෙහි වැඩ වසන කල, සොවහන් පලයෙහි පිහිටි උග්ග නම් ගෘහ පතියා බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝයා වෙනුවෙන්  දානයක් සකස් කොට එම දානය පිලිගන්න්වන අවස්ථාවේදී මෙලෙස ප්‍රකාශ කරයි. 
"ස්වාමිනි මා විසින් ඔබ වහන්සේ ගෙන්ම අසන ලද ධර්ම කරුණක් තියෙනවා, ඒ තමයි තමන් මනාප දේ දන් දෙන තැනැත්තා මනාප දෙයම ලබන්නේය" යන්නයි එබැවින් භාග්‍යවතුන් වහන්ස මනාප දේම ලබනු පිණිස මට මනාප දේම සහිතව මේ දානය පිළියෙළ කරණ ලද්දේය.
ඔය විදිහට කියන මේ උග්ග ගෘහ පතියා  ඒ දේවල් වල නම් කිය කියා මේ දානය පුජා කරනවා. මෙහෙම් පුජා කරණ අතෙරේ දී  
"භාග්‍යවතුන් වහන්ස, මම ඩෙබර පල මුසු කල ඌරු මසට ඉතා මනාපයි, එබැවින් භාග්‍යවතුන් වහන්ස මා කෙරේ අනුකම්පා කර මේ ඩෙබර පල මුසු කල ඌරු මස පිළිගන්නා සේක්වා"
භාග්‍යවතුන් වහන්ස ඔහු කෙරෙහි අනුකම්පා උපදවා පිළිගත් සේක.

මෙය අංගුත්තර නිකායේ මනාපදායි සුත්‍රයේ සඳහන් කරුණකි.

මස් මාංශ අනුභවය මෙන්ම ආහාරය  අකුසලයක් වන අයුරු?

භාග්‍යවතුන් වහන්සේ දේශනා කල මේ ශ්‍රී සද්ධර්මය අප භාවිතා කල යුත්තේ අපහේ සිතේ ඇතිවන ලෝභ, ද්වේශ මෝහ යන අකුසල මුලයන් දුරුවන ආකාරයටයි.  මත්ස්‍ය මාංශ අනුභවය ඉතා ගිජු කමින් සිදුකරණ විට ඒ රසය වෙනුවෙන් පහල වන්න වූ ලෝභ සහගත සිතුවිලි නිසා අනිවාර්යයෙන්ම අකුසල් සිදුවෙනවා. 
මස් මාංශ පමණක් නොවේ ශාකමය ආහාර සඳහා උවත් අධික ගිජු බවක් දක්වනවා නම් එතනදිත් පහල වන්නේ අකුසල් මුලයක් වන ලෝභ සහ ගත සිතුවිලි. එබැවින්  මොනයම් හෝ ආහාරයක් ගැනීමේ දී ඒ ගැන අධික ලෙස ගිජු  නොවී එම ආහාරය ගැනීම ඉතා වැඩදායක වෙනවා.
එමෙන්ම ආහාරය ගැනීමට පෙර එම ආහාරය ගැන තමන්ට හැකි පමණින් ප්‍රත්‍යවේක්ෂා කිරීමක් කරන්න 
" මා මේ ආහාරය ගන්නේ රස විදීමට නොවේ, ශරීරය වර්ධනය කිරීමට නොවේ,  ජවය පිනිස නොවේ, ඇති වූ කුස ගින්න නිවා ගැනීම පිණිසත්, කාය ජිවිත දෙක ආරක්ෂා කර ගෙන මේ ලද ජිවිතයෙදී ධර්මය අවබෝධ කිරීම පිණිසත්  පමණයි. මේ ආහාරය පඨවි, ආපෝ, තේජෝ, වයෝ යන සතරමහා ධාතුන්ගෙන් සැදුනක්. ශරීරයට ඇතුල් වී සැනෙන් මේ ආහාරය අපවිත්‍ර බවට පත් වන්නක් .."
ඔය ආකාර වූ ප්‍රත්‍යවේක්ෂා කිරීමක් භික්ෂුන් වහන්සේලා ට අනිවාර්යය කර ඇති නමුත්, ගිහියන්ට උවත්  මෙහෙම හිතන්න පුලුවන්නම් ඕනෑම නීරස ආහාරයක් ඉතාම පහසුවෙන්, සතුටෙන්  අනුභව කරන්න පුළුවන්. ආහාරයක රස විදීම කිසිසේත්ම නොකළ යුත්තක් යැයි වරදවා වටහා නොගන්න. ගන්නා ආහාරය උපරිම ආකාරයෙන් රසවිඳිය යුතුයි, නමුත් ඒ රසයට ගිජු නොවීය යුතුයි. තවද ආහාර අනුභවයේදී අකුසල් සිදුවන තවත් අවස්ථාවක් තමයි එම ආහාරයේ රසය මද වීම, ලුණු ඇඹුල් අඩු වැඩි වීම වැනි අවස්ථාවන් හීදී ඇතිවන ද්වේශය.  මෙයත් ආහාරය නිසා අකුසල් අනුසයක් සිදුවන අවස්ථාවක්. ඉහත දැක්වූ ආකාරයට  ආහාරය ගැන නුවණින්  සලකා ආහාර ගැනීමට හැකිනම්, ආහාරය නිසා ඇතිවන සුළු අකුසල් සහගත සිතිවිලි පවා නැති කරගන්න පුළුවන්.
මේ ආකාරය හැකිනම් එක දවසක් ආහාරය පිලිබදව නුවණින් මෙනෙහි කර බලන්න. මේ ධර්මය තමන්ම අත් දකින්න ඕන දෙයක් එහි අසිරිමත් භාවය එයයි.
මත්ස්‍ය මාංශ අනුභව නොකිරීම  තනිකරම බෞද්ධයාගේ පෝෂණයට දැඩි තර්ජනයක් වන අතර ශාක ආහාර පමණක් අනුභව කරන්නවුන් යම්කිසි රෝගයක ආරම්භය දුටු විටම ඊට හේතුව මත්ස්‍ය මාංස පරිභෝජනය නොකිරීම බව වටහා ගත යුතුයි.

මාංස වණිජ්ජා යනු මාංස වෙළදාම ලෙස පටලවාගෙන සිටීමද තවත් කරුණකි. ඒ ගැන පහත සබැඳියෙන් කියවන්න. 
මාංස වානිජ්ජා යනු මස් වෙළඳාම ලෙස පටලා ගැනීම


1 comment:

  1. ඉතා පැහැදිලි ලෙස ලියා ඇත , බොහෝ අවිශ්වාසි තැන් මෙහි අඩන්ගු කරුනු නිසා විසදාගත්තෙමි. නමුත් තව එක් ප්‍රශ්නයක් ඉතිරිවී ඇත , එය නම් බුදුන් වහන්සෙ නොකලයුතු කර්මාන්ත 05 වදාරා ඇති අත්‍ර මස් මාන්ස වෙලදාම නොකල යුතු බවට දේශනා කර ඇත. එසි නම් මෙම කරුනු වලට අනුව කවුරුන් හෝ මරා ගෙනවිත් දෙන දෙයක් විකිනීමෙන් පවක් සිදු නොවනු ඇත , නමුත් එය සත්ය නොවන බවද වැටහෙනු ඇත. එලෙසම රසයට ගිජුවී ගිහියන් විසින් මස් මාන්ස අනුභවයෙන් පවක් සිදුවන් බව අනුමාන් කරමි. මෙය ධර්මය අනුව කෙසේ විස්තර කල හැකිද ?

    ReplyDelete